Blogger Tricks

Saturday, December 3, 2011

අපට ඉඩ මදි වුණා..!




තරු වලට එහා සිට
ඇත වැනුවෙ මං නුඹට
සඳ එලිය දිගේ සිට
හෙමි හෙමින් ලතාවට...

සුදු පෙනැති වලාකුළු
හරි හෙමින් පා වුණා
නුඹේ ළඟ දග කරන
කාලේ තව වැඩි වුණා...

මද පවන රග දෙනා
තාලේ තව රළු වුණා
උණුසුම්ම සුසුම් වැල්
සීතලට ගල් වුණා...

පොලෝ ගැබ ගිනි අරන්
අපට ඉඩ මදි වුණා
ලොවේ සැනසුම සොයන්
ස්වර්ගයට අපි පියැබුවා...

Thursday, November 24, 2011

තෙවසරක මතකය...

සිතේ හැපි හැපි
මගේ කෙහෙරැළි
රඟනවා මතකය සොයා...
            එදා කෙහෙරැළි
            වලකවා නුඹ
            සැනසුවා නෙත් යුග වසා...

සරසවිය තරමට
තෙවසරක මතකය
සිහිවුණා අද
සිහින් සිහිලැ‍ලි දුක වසා...
            වැව් ඉවුර හෙවනයි
            එදා වාගෙම
            සොඳුරු රූ
            ඇදෙනවා එහි නුඹ නිසා...

හෙවන යට හිඳ
අපේ සෙවනැළි
වනනවා අත
තනියෙන්මදැ'යි අසා...
            හරිමි දියකර
            අතීතය මං
            මගෙම විතරක්
            නොවෙන හින්දා....

Tuesday, November 1, 2011

මගේ සෙනෙහස..







ඇරඹුමක් නැති
අවසනක් නැති
ප්‍රේමයක් ඇති
මගේ හිතේ....

        ඒ වගක් තව
        හඳුනගන්නට
        සිතක් නැති කවිකාරියේ.....

තරු පිපුණු
අහස යට
මල් පිපුණු
දෙරණ මත
ලංවුණේ හදවතින්
ජිවිතේ කරන් නුඹ....

         කවුරු නාවත්
         නුඹේ තනියට
         ජිවිතේ වුව
         පුද කරන්නට
         කෙනෙක් සිටි බව
         මතක් කරපන්
         සුහදිනී.............

Friday, October 21, 2011

මිහිරී සරදම...





රිදුමක් ය මිහිරී
හදවතින් නැගෙන...

කදුලක් ය මිහිරී
දෙනයනින් ගලන...

සුසුමක් ය මිහිරී
මදහසින් නිවෙන...

වදනක් ය මිහිරී
මුළු ලොවක් සිතන...

සරදමක් ය මිහිරී
ප්‍රේමයක් කෙරුම...

Sunday, October 16, 2011

සරසවියේ සිහින තරම් ලස්සනදැ'යි මට කියන්න....

එක මග ගත් මුත්
සරසවියේ අපි,
ලංවෙලා සිතට සිත
වෙන් වෙන්න නොම හිතපු
සිව් වසර අද කොතැන...

ලං නොවෙන තරමට
වෙනස් වී කාලය
සිහිනයක් තරමට 
දුර ඇදුණු අරුමය...

දෙපස වූ ප්‍රේමය
වෙන් වෙන්ව සායම්ව
මතුකරගත්
ජිවිතයේ අද සිතුවම
සරසවියේ සිහින තරම්
ලස්සනදැ'යි මට කියන්න....

Saturday, September 24, 2011

* මම , නුඹ , ආදරය සහ රාත්‍රිය *



කඳු යාය ගෙන එනා
ගී රාව මුමුණවා
ඇස් ගාව හැංගිලා
කළුවරත් බෝ උණා..

තරු කැටත් හිනැහුණා
සඳ සාවී ඉඟිකළා
නුඹේ හුස්ම කිතිකවා
තව නුඹට ලං උනා..

රෑ අඳුර තුළ පිපී
පරවුනා මල් යළි
ප්‍රේමයේ සොඳුරු හැඩ
ගැලපුනා හරි හරී..

අඩවන්ව පියවුනී
නෙත් සරින් කැළබුණි
මුඳු රෝස මල් පෙත්ත
හිරිකඩට තෙත් වුණි..

කළුම කළු කළුවරට
කිටි කිටියේ තද වෙවී
සංසාර සාගරය
තොල ග ගා රස සෙවී..

දෙව්ලොවක විලසිනා
සඳ එලිය වෑහුණි
තරු එලිය පා වෙලා
ආදරය මගෙ වුණි..

Friday, September 23, 2011

මල් පාර


ආව ගිය මල් පාර
ඇවිද ගිය ඒ කාලේ 
සිහිවේද යලි නුඹට
මුලා කර මගේ පෙම
සිනාසුනු අන්දම්...

කහ පාට මල් පිපුණු
අව් වැස්ස නොම ගේපු
ඒ විසල් රුක කොතැන
මියැදී ලෙස පෙම
මියැදී ගිහින්මද...?

වෙන් වෙලා දුර ඇදුනු
මං බෝම පෙම් කරපු
නුඹේ රුව අත වනන
සිතුවමක් ඇත මං ගාව...

අපි එක්ක ගී කිව්ව
විහඟ කැල අද නොමැත
පියාඹා ගිහින්මද
නොඑන ලෙස නුඹ වගෙම...?

කෑලි කැපිය හැකි තනිකම
තුරුළු කරන් මං මහ මග
මල් පාරෙන් සමු ගත්තා
නුඹව මතකෙ රන්දගන්න 
ආයෙත්  එහි ඇවිත් යන්න....
 
 

Friday, September 9, 2011

අතුරු කතාවක්

මේ පොස්ට් එකේ නම මේ කියන්න යන දේට  හරියට ගැලපෙනවද කියන්න දන්නේ නැහැ. හරි.... කමක් නැහැ මේ කියන්න යන්නේ දඩබ්බරි මේ ලගදි කියවපු පොතක දකින්න ලැබුන දෙයක් ගැන.සරසවියේ පුස්තකාලයෙන් දඩබ්බරිගේ යාලුවෙක් ගත්ත පොතක් අහම්බෙන් දඩබ්බරි අතටත් ආවා..පොතක් අතට අරන් අපි හැමෝම නිකමට වගේ එස්සර වෙලාම කියවන්න කලින් පෙරලලා බලනවනේ..
දඩබ්බරිත් පොතක් අතට ගත්ත ගමන ඕකම තමයි කරන්නේ..හිකිස්‌..
එතකොට අවසාන හිස් පිටු දෙකේ සරසවියේ අපේ සහෝදරයෙක් හරි සහෝදරියෙක් හරි සංවේදී එයාගේ කතාව ලියල තිබුන..දඩබ්බරි පොත කියවන එක පැත්තකින් තියල ඉස්සර වෙලාම කියෙව්වේ එයා ලියල තිබුන දේ..
ඉතින් සරසවියේ ඒ සහෝදරිගේ/සහෝදරයාගේ කතාව මෙහෙම ඔයාලට නිකමට වගේ කියන්න දඩබ්බරිට හිතුන..
ඊට කලින් පොත ගැනත් කියන්න එපැයි නේද?

මේ පොතේ සිංහල පරිවර්තනයේ නම තමයි " අපි දෙන්නම අසරණයි තාත්තේ" (Mummy Daddy & Me). වැඩිහිටියන් උදෙසා ළමයින් විසින් කරන නිර්මාණ 40 ක් තමයි පොතේ අන්තර්ගතය.
ළමයාගේ දෑසින් තමන්ගේ මව හෝ පියා පිළිබද දකින නියම ස්වරුපය ඉස්මතු කොට ලියවුනු රචනා එකතුවක් තමයි අඩංගු වෙලා තිබුනේ...
දැන් ඉදන් ලියවෙන්නේ සරසවියේ අපේ සහෝදරිගේ/සහෝදරයාගේ කතාව......!

" ආදරණිය අම්මේ තාත්තේ,
            ළමා මනස හැමදාම ආදරය සොයයි. ළමා කාලය පමණක්ම නොව වැඩිහිටි අවදියද මව්පිය සෙනෙහස හැමදාම ඉල්ලයි. තේරුම් ගන්න හැමදෙනාගේම රුචි අරුචිකම්.
            මවක් යනු දැඩි හදවතක් නොව මෘදු හදවතකි.විවහාරයට නොව හදවතින්ම අම්මා කිව හැකි අම්මා කෙනෙක් වෙන්න.

Wednesday, September 7, 2011

පාට තැවරෙනු මං බලා සිටියා


මටත් රහසේ
මගේ හිත යට
සොඳුරු හැඟුමක
පාට තැවරෙනු 
මං බලා සිටියා...

නීල අහසේ
අත් තටුත් ලැබ
පියාඹා යන අරුම පුදුමය
සිතින් මං දැක්කා...

නුඹේ අත ගෙන 
ඉවුරු අසබඩ
ආදරේ පෙම් සුව විඳින්නට
හිතන් නැතුවම ලං වෙනා හැටි 
සිහින වල දුටුවා...
 
 

Friday, August 26, 2011

රදළ සැමියෙකුට එරෙහිව


දඩබ්බරි මේ ලගදි කියවපු පොතක් තමයි මේ තියෙන්නේ.සමහරවිට ඔයාල මේ පොත කියවලත් ඇති.නැතුවත් ඇති.නොකියවපු අයට කියවන්න තරම් වටිනා පොතක්.පුරුෂාධිපත්‍යයට එරෙහිව නැගී සිටි මුස්ලිම් කාන්තාවකගේ සත්‍යය කතාවක් තමයි මේක.

දඩබ්බරි කියෙව්වෙ නම් සිංහල පරිවර්තනය...
වසර 13ක් තමන්ගේ පවුල රැකගන්න නිහඬව ඉදල Tehmina Durrani අන්තිමට තමන්ගේ කතාව අලලා මේ පොත ලියනවා.ඇය වින්ද වද වේදනා  දඩබ්බරිව සලිත කරපු  නිසා පද වැල් දෙක තුනක් මෙහෙම ලියවුනා....

" ආදරය වයිරය
සම සමව කැටි කර
ජීවිතය පදම් කර
බියකරුම සිහිනෙක
දවටවා මගේ ලොවම
දරාගත් නිහඬවම
විළි වැසූ සිංහ නිරුවත....

කුටුම්බය නිසා මම
මහා මෙරක් දුක කන්ද
ඉසිලූ ඒ තෙලෙස් වස
නිහඬ කර සියොලඟම
දවා ගිය සැඩ ගින්න
තවත් වෙර නැහැ
නිහඬ කරනට....

ආගමෙන් දෑස් බැඳ
පර්දාව පිටුපසට කර
ගැහැණු යදමින් බැඳ
කරන නොපහත්කම්
මෑත් කර කළු සේල
නගා හඬ උස්ව
ලොවක් අභිමුව කියාලන්නට
වසත් කාලය
පැමිණ දැන් ඇත.... "

Saturday, August 6, 2011

මට බර වැඩි මගේ කඳුළු




ඈත ඈත ආකාසේ
මට බර වැඩි මගේ කඳුළු
සගවන්නම් නොපෙනෙන සේ
අහස කුස කළු කරගෙන
මහ වරුසා වැටෙනකම්...

නුඹ වෙනුවෙන් ළයේ නැගුනු
හැම රැයකම හෙලු සුසුම්
නොපෙනි ඉමට ගෙනියන්නම්
මහ පොලොව වසාගෙන
සුළි සුළගක් වී හමනකම්...

කෑ ගසා නොහැඩුවත්
මා මුවින් ඔබේ ළඟ
රිදුම් දෙන හදවත
කෑ ගසා හැඩු හඬ
වසාගෙන සිටින්නම්
විදුලි හඬ වී විශ්වයම
ගුගුරුවා යනකම්...

Thursday, July 14, 2011

පුතා බුදුන් දැකලා නිවන් යන්න ඕනි..!



දඩබ්බරි කාලයක් කොළඹ රටේ පන්තියකට ගියානේ..කොළඹ පාරවල් තොටවල් ගැන දඩබ්බරි වැඩිය දන්නේ නෑ නොවැ..ඒත් දඩබරිගේ යාලුවෙක්ට පින් සිද්ද වෙන්න දැන් නම් ටිකක් ටිකක් විතර දන්නවා.
ඒ දවස් වල දඩබ්බරි නැවතිලා හිටියේ ඔන්න ඔය වත්තෙගෙදර පැත්තේ යාලුවෙක්ගෙ බෝඩිමක.වත්තේ ගෙදර හන්දියෙන් බැහැල එතනින් වෙන බස් එකක් ගන්න ඕනි බෝඩිමට යන්න.
ඔන්න වෙනදා වගේ ම දඩබ්බරි පන්තිය ඉවර වෙලා වත්තේගෙදර හන්දියෙන් බැහැ ගත්ත.එවෙලේ හෝල්ට් එකේ ආච්චි කෙනක් ඉන්නවා බස් එකක් එනකම් බලාගෙන.දඩබ්බරිගේ අවධානය ගන්න ඒ ආච්චිට පුළුවන් උනේ එයාටත් වඩා ලොකු බෑග් මලු දෙකක් අත් දෙකෙන් අරගෙන බොහොම අපහසුවෙන් දාඩිය පෙරාගෙන කලබලෙන් වගේ හිටපු නිසා.ඒ වගේම එය ඇදන් හිටියේ කිළුටු ඇදුම්.
කොහොම හරි ඒ ආච්චි එතනින් ගියපු හැම බස් එකටම වගේ අත දික් කළා නවත්ත ගන්න..ඒත් ඒ කිසිම බස් එකක් අපි හිටපු තැන නතර කලේ නැහැ..ඒ මොකද මන්ද කියල දඩබ්බරිටත් හිතුනා.අර ආච්චි පාරට යනවා අයෙත් හෝල්ට් එකට එනවා..ඒ මදිවට ඇවිදින්නෙත් කොර ගගහ.
ටිකින් බස් එකක් නවත්තන්න වගේ ස්ලෝව් කලා.

"මේකෙන් කොටුවට යන්න පුලුවන්ද?"ආච්චි ඇහුවා
"බෑ බෑ මේකේ බෑ..වෙන එකක යන්න.."කොන්ද "යමු යමු" කියල කෑ ගැහුවා..
ඒත් ඒක 138 කොටුව බස් එකක්.
ඒ බස් එකත් ගියා..මේ විදියට බස් කිපයක්ම ආච්චිට නතර කලේ නැහැ.

"මේ කිසිම එකෙක් මට යන්න බස් එක නතර කරන්නේ නැහැනේ.."

ආච්චි එහෙම තනියම එයාටම කියා ගන්නවා දඩබ්බරිට ඇහුන.මෙන්න ඒ වෙලාවේ තමයි දඩබ්බරි ආච්චිගේ මුණ හරියටම දැක්කේ...එයාගේ එක ඇහැක සම්පුර්ණයෙන් වගේ සුද ඇවිත්.අනිත් ඇහෙත් ලාවට වගේ එහෙමයි.එයාට ටිකක් පේනවා මදි ඇති කියල දඩබ්බරිට හිතුන.
පව් දැන් විනාඩි විස්සක් තිස්සේ ඒ ආච්චි බස් එකක් නතර කර ගන්න බලනවා..
මේක හරියන්නෑ මොන හරි කරන්න ඕනි කියල හිතල දඩබ්බරි ආච්චිට කිට්ටු උනා.එතකොටම වගේ දදබ්බරිට අපුරු හදුන්කූරු සුවදක් ආවා..නිකමට වගේ හිතුන අර බෑග් පුරවල ඇත්තේ හදුන්කූරු වලින් කියල..එය සමහරවිට හදුන්කුරු බිස්නස් එකක් කරනවා ඇතිත් කියල දඩබ්බරිට හිතුණා.

"ආච්චිට කොහෙටද යන්න ඕනි?" දඩබ්බරි එහෙම ඇහුවා.

"පුතේ මට කොටුවටයි යන්න ඕනි" මලා.... දඩබ්බරිව ආච්චිට පුතෙක් හැටියට පෙනුනද මන්ද.හිකිස්‌!

"එකෙක්වත් මට නගින්න බස් එක නවත්තන්න පුතේ.දැන් හොදටම හවස වෙලා.මම කොටුවේ හදුන්කුරු විකුණනවා"
එහෙනම් දඩබ්බරි හිතපු දේ හරි....
"එන්න මං ආච්චිව බස් එකට නග්ගන්නම්" ලියල අපේ දෙන්නම හෝල්ට් ඒකෙන් එලියට ආවා.
ආච්චි ගාව බස් එකේ යන්න සල්ලි තියෙනවද දන්නෑ.දඩබ්බරිට එහෙමත් හිතුණා.

"ආච්චි ගාව බස් එකේ යන්න සල්ලි තියෙනවද?"

"ඔව් පුතේ මං ගාව සල්ලි තියෙනව"

Thursday, July 7, 2011

සුවද මල නුඹ....

               


සිදී සංසිදෙන තරමට
හදේ නැළවෙන
මිහිරි සිතුවිල්ලකි'යි ආලය...

නිසල හද අරණ
අරා සුපිපුණු
සුවද මල නුඹ
නමක් සිහිනොවෙන මට...

බුදුන් පුදනා
මල් වට්ටියක් කර
බොහෝ බැතියෙන්
පුදමි හද මඩල
නිවී සැනසුණ
    පහන් සිත ළඟ...

Wednesday, June 22, 2011

උදව්.... ඈවරයි! දෑවරයි!



ඇත්තටම මිනිහෙක් තවත් මිනිහෙක්ට මොනම හරි උදව්වක් කරලා ඒක අර මනුස්සයා ඉස්සරහම කේවල් කරන එක කොච්චර පහත් වැඩක්ද?
දඩබ්බරි මේ පෝස්ට් එක දාන්නේ නම් හරිම හිතේ අමාරුවෙන් ඒ වගේම කලකිරීමෙන්.. :(

තවත් කෙනෙක්ට උදව්වක් කරලා අපි බලාපොරොත්තු වෙන්න ඕනි මොනවද?දඩබ්බරි නම් හිතන්නේ අපි කාට හරි උදව්වක් කරලා ඒක එතනින් අමතක කරලා දාන්න ඕනි..එතකොට තමයි කරපු උදව්වෙ වටිනාකම තියෙන්නෙ..මොනවා හරි අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ කරලා තියෙන්නෙ උදව්වක් නෙමෙයි නේද?මිනිස්සු දැන් එකත් බිස්නස් එකක් කරගෙන!
හැබැයි උදව්ව ගත්ත කෙනා ඒකට කලගුණ සලකන එක එයාගේ යුතුකම.

Sunday, June 19, 2011



පෙරඹරින් මල් සිනා
නුඹ එදා කන්ද වූ ,
මල් යාය නිසසලයි
දුක් ගීත මුමුණයි....

සඳ මෝදු වී එතේ
තරු කැට එක දෙක පිපේ,
හිරු කුමරු නිහඬයි
තරහගෙන ඇති ගානයි....

නිහඩ බව රජයයි
සීත මහ රෑ පොපියවයි,
පවන් රැල් නලියයි
මං කෝල ගානයි....

Thursday, June 16, 2011

පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ..

ඊයේ පොසොන් නිසා දඩබ්බරිත් ගියා තෝරන් බලන්න
....හප්පේ...
එළිය බැස්ස විතරයි චුරු චුරු ගාලා කොහවත් නැති වැස්සක් කඩා පාත් උනා..ඒක ධාරානිපාත වැස්සක් වෙන්න ඒ හැටි වෙලාවක් ගියේ නැහැ.මැණික්පුරේ කස්ටිය නම් ඒ බව හොදාකාරවම දන්නවනේ..පාර දෙපැත්තේ දන්සැල් පුරාම..

සුප් කියයි,ඔසු පැන් කියයි,තේ කහට කියයි,අයිස් ක්‍රිම් කියයි... තව තව නෙක නෙක ජාති..
ඒත් කොහේ කියල යන්නද?වැස්ස මදිවට හෙන ගහනවා හිටු කියල..ගහගෙන යන සයිස් එකේ සුළං පාරත්..ඉතින් ඒවාට කෙළ ගිල ගිල ගියා කියමුකෝ..

ඒ මදිවට වාහන තදබදය.වෙසක් එකටවත් මෙච්චර තදබදයක් තිබුනේ නැහැ..

මැණික්පුරේ පොඩි විශේෂයක් තියෙනවා.ඒ තමයි වෙසක් එකට තෝරන් කිසි දෙයක් නැහැ..පහන් කූඩු නම් තියෙනවා..ඒ මොකද වෙසක් මාසේ ඒ කියන්නේ මැයි මාසේ මැණික්පුරේට උතුරන්න වැස්ස.ඒකෙ ප්‍රතිපලය තමයි ගංවතුර.මේ නිසා වෙසක් එකට මැණික්පුරේ තෝරන් නැහැ.දන්නවනේ ගංවතුරට යට වෙන්න ගියාම....
ඒකටත් එක්ක පොසොන් එකට තෝරන් තියෙනවා!

වැස්ස එහෙම පායලා සුජානම් වෙනකොට අනේ අර දන්සැල් ඉවරයි! දුකේ බැහැ..එකත් කමක් නැහැ කියල දඩබ්බරි ගියා තොරණ බලන්න.. පාට පාට බල්බ් දාලා දිලිසි දිලිසි මේ තියෙන්නේ පොසොන් මහා තෝරන් රාජයා....

Wednesday, June 15, 2011

ආදරෙයි ද මට කියන්න......



හීන වලින් බැස ඇවිදින්
ආදරෙයිද මට කියන්න....

හොරෙන් බලා සිනාසුනේ
ලඟට එන්න බය නිසාද....

ලං වෙන්නට බැරි තරම් ම
දුර වැඩි නැහැ අපි දෙන්නම....

මගේ සිතේ නුඹ ඉන්නවා
පණිවිඩයක් මට එවන්න....

කවුළු පියන් හැරලා ඇත
ඉක්මනින් ම එහි වඩින්න....

Saturday, June 11, 2011

නංගි දැන්වත් සෙරෙප්පුව දෙනවද..?



දඩබ්බරිට හිතුනා එයාට උන පොඩි රස කතා, කරපු මැටි වැඩ ටිකකුත් ලිව්ව නම් හොදයි කියල... හැමදාම විරහව විතරක් ලියන කියල ටික දෙනෙක් මට චෝදනාත් කලානේ..
මේ සීන් එක වෙලා තවම එච්චර කල් නැහැ. දඩබ්බරි සහ යාලුවෝ සෙට්  එක මේ ලගදි දවසක මහියංගනේ  ගියා. යන අතරමගදී උන සීන් එකක් තමයි මේ. මාතර ඉදලා මහියංගනේ යන්න පැය 9ක් විතර යනවා. පන යන වැඩක්! ඒත් දඩබ්බරි කවදාවත් ඒ පැත්තේ ගිහින් නැති නිසා හෙන උනන්දුවෙන් තමයි ගියේ.
කොහොම හරි අපි නැග්ගේ අර එක පැත්තක සීට් තුනක් තියන මොනරාගල bus එකක. දඩබ්බරි තව යාළුවෙකුයි සීට් තුනක් තියෙන පැත්තේ වාඩි උනා. සෙට් එකේ අනිත් කස්ටියත් අපිට පිටි පස්සේ සීට්
වල වාඩි ගත්ත. යාළුවා shutter එක පැත්තේ දඩබ්බරි මැද.  දඩබ්බරිගේ එහා side ඒකෙන් bus එක පිටත් වෙන්න හදනකොටම කොලු ගැටයෙක් ඇවිත් වාඩි උනා. කොලු ගැටයෙක් කිව්වට අයියා කෙනෙක්. හිකිස්‌.. ඔන්න ඉතින් bus එකත් යනවා යනවා ඉවරයක් නැහැ. එහා පැත්තේ අයියත් ෂෝක් එකට ඉදගෙන ගියා. අපිත් ඉතින් ටිකක් නිදාගෙන,ටිකක් කියව කියව ඔහේ යනවා. අයියාකාරයා හම්බන්තොට හරියෙදී විතර දඩබ්බරිගෙන් ඇහුවා ,

Thursday, June 9, 2011

නුබෙ නොවන අක්කණ්ඩි මා තමයි මල්ලියේ



සොයුර නුඹ මගෙමයි
හිතුනෙ මට එහෙමයි
ඒත් නුඹ ඈතයි
ලං වෙන්න බැරි ගානයි....

හමු වීම පහසුයි
වෙන වීම දුකක්මයි
ජිවිතේ හැටි ඔහොමයි
නුඹට දුකක් ඇති නැති ගානයි....

පෙර දවස මං ගාව දැවටිලා
හුන් කාලේ අතීතෙට අලවලා
නුඹ යන්නෙ ඈතටම පියඹලා
මහා දුකක නුඹ මාව ගිල්වලා....

හැමදේම පොඩි කමට කියවලා
සොයුරු පෙම මං ගාව වැඩිකලා
නොදැනිම කල දවස ගෙවිලා
නුඹ දැන් ලොකු මිනිහෙක් වෙලා....

නුඹ සතුට මගෙයි හැමදාම මල්ලියේ
හැරෙන්නට බැරි උනත් ඔය ගමන මල්ලියේ
ජිවිතේ ජය ගනින් මගේ සතුට මල්ලියේ
නුබෙ නොවන අක්කණ්ඩි මා තමයි මල්ලියේ....

Monday, June 6, 2011

- දුරක යන්න බැහැ කොහොමත් -


හිත නෑ මට
නුඹ ළගින්ම
නොඑන ලෙසට
දුරක යන්න...

වලකනු බැහැ
මේ දේවල්
ජිවිතයේ
හැටි එහෙමයි...

හීන පැතුම්
නුඹ ගැනමයි
ඈත් වෙන්නෙ
නැහැ කොහොමත්...

සඳ පානට
තරු එලියට
කවිපද වැල්
තනන නුඹට,
මගේ ප්‍රේමෙත්
කවියක් කර
සනසගන්න
රිදවුණු සිත..

සක්මන් මළුව



"ගල් බොරළු
පිසදා..,
සුමුදු වැලිකැට
අතුරා..,
හදේ සක්මනට
මළුව සකසා
සක්මනට ඉඩ දී,
බලා සිටියෙමි මං
හැඟුම් විරහිතව.."

රැය අහිමි සඳවතිය



එළිනොකර
එක දිගට
හැම රැයක්
සැනසුවේ
මුළු ලොවම
හිතේ මහ දුක දරන්...
රැයේ සඳවතිය
උනත් මං
මට කියා
රැයක් වෙද
සිතක් නැති ලොවක තවත්....??

Thursday, June 2, 2011

-අහිමි කිරීම-

හිරු විතරක්
මට තියලා...
ඉරේ එලිය
නුඹ ගත්තා...

සඳ විතරක්
මට තියලා...
සදේ එලිය
නුඹ ගත්තා...

තරු විතරක්
මට තියලා...
තරු එළියත්
නුඹ ගත්තා...

දුක විතරක්
මට තියලා...
ජීවිතය ම
නුඹ ගත්තා...

මට එහෙමයි හිතුණේ...

නිල ඇස් දෙක අහිංසකයි
මට එහෙමයි හිතුණේ..

පාන සිනා හරි මෙලෙකයි
මට එහෙමයි හිතුණේ..

කතා කළා ඔය ඇස් දෙක
මට එහෙමයි හිතුණේ..

කියපු කතා ආදරේට
මට එහෙමයි හිතුණේ..

මේ සේරම මා රැවටූ මුලාවකැ'යි
නැත අද වෙනකම් හිතුණේ....

පියාඹන්න තටු දීලා
තටු කැපුවේ ඔය හිතින් ද
ආදරේට හිත අරගෙන
බිම ගැසුවේ ඔය හිතින් ද
අදහනු බැහැ මට තවමත්......

සිඳුණු තටු

බිඳුණු හද
ලඟට ගෙන
හඩන්නේ මං
සාප කර මට....!


Tuesday, May 31, 2011

පාට සිහිනය


දේදුන්නේ පාට හතම
මහ පොළොවේ රන්දාලා 
ඒ පාටින් මැව්ව ලෝකෙ
කොහෙදෝ නුඹ හංගාලා.....


ඒ පාටින් හීන හතක්
මැව්වේ මං නුඹ එක්කම
පාට පාට හීන ලොවක
අපි දෙන්නා තනි වීලා.....


මං විතරක් එක හීනෙක 
රන්දා නුඹ පා කරලා
හීන වලට ගොඩක් උඩින්
අත විතරක් වනලා මට සමු දුන්නා.....

නුඹ සහ මම

ඈත කළු වලාවක
වැසි වැටුණු දවසක
නොකියාම යන බව
සැගවුණේ නුඹයි....


මෑත රන් රේඛාව
දිලෙන තුරු හැමදාම 
නොපියු නෙත් දල්වාන
බලා ඉන්නේ මමයි...


පිවිතුරුය කියූ ප්‍රේමය 
බිම දමා, කැබලි කර 
පව්ත් අර ගත්තේ නුඹයි....


පුජනීය ප්‍රේමය
හිත වටා දවටාන
තවම සුසුම් ලන්නේ මමයි.........

කුමට ද වෙන සැප...?


මං මළ දා
නුඹ තනි රකිනා බව
මට නිතරම කිව්වා..
අද නුඹ නැත 
මගේ ළඟින්
වාවන්නේ හිත කොහොමද
කඳුළුම විතරයි
අද මගේ තනියට...
මං මැරුනොත් 
මගේ තනියට
නුඹ එන බව සත්තකයි ද...?
එහෙනම් මට
මරණය මිස
වෙන සැපයක්
ලොව කොයින්ද......???

හමු(නො)වි , වෙන්(නො)වෙමු..!


"හමුවන හැම
වෙන් වෙන බව
දැන දැනමයි
හමු වුයේ....

වෙන් වී නුඹ
ගිය දා, මං
හමුවන අය
වෙන් වෙන බව
අමතක කර තිබුනා..."


"හාදු වැස්ස
පිනි වැස්සක් විලසයි
    මට දැනුණේ....

ඒ සීතේ
පිනි වැස්සේ 
තුරුලට ගෙන
    නුඹ මා සැනසුවේ....

ඒ වැස්සෙම
නුඹ ඇයවත්
තෙමුවේ
    මට හොර රහසේ....."


Friday, May 20, 2011

ආදරය

"රිද්දන්න  

කියාපු

බඩුව ........"

අයිති නැහැ නුඹට

නුඹ ගැනම
නෙක අරුත්
පන්හිඳෙන්  ගැලපුවාට..,

නොකියාම
මං නුඹව
ගීතයක් කෙරුවාට...,

අයිති නැහැ
නුඹේ නොවන
මං වගේම
මගෙ කවි එකක්වත්
කවි නොදන්න
නුඹේ නමට...

- මළකඳ -

නුඹ
මරා දැම්ම
අපේ ආදරේ
මළගම
ඉහලින්ම
කරන්නට සිතුවා මං
ආදරේ නාමයෙන්.....

නුඹ දුන්නු
හැම දේත්,
ලේ ගලන මගේ හදවතත්
දැම්මා මං පෙට්ටියට
ඉබි යතුරුත් එක්කම ....

නුඹ එව්ව මල් වඩම
ගෙයි මැද්දේ
තිබ්බා මං උජාරුවට.....


ආයෙ ආයෙ
මා බය කර
අවතාර විලස
නොනැගිටින්නට

වලලන්නද?

පුච්චන්නද?

ලතැවෙන මගෙ
සිත හින්දා...
මළකද  තවමත්
ගේ ඇතුලේ
ගඳ ගහමින්...............

Monday, April 11, 2011

LOVE

"Your                                     "  නුඹේ  

Game                                     සෙල්ලම

My                                           මගේ

Life..."                                      ජීවිතය."

මගේ සිත

"ගතික
මගේ සිත ,

චපල
නැති මුත්,

සෙනේ කාටද
සිතා ගනු බැරි...."

සත්තයි..

"ගලන ගං දිය
කොහෙන් ගැලුවත්
වැටෙන්නේ
මහ මුහුදටයි.......

කවුරු කොතැනදී
අයිති කිව්වත්
අවසානේ උරුම
මහ මුහුදටයි...

"සබද පෙම්වත"


කවුරු කෙලෙසක
අයිති  කිව්වත්
දිනෙක මං නුඹ
මගේ ලොවකට
රැගෙන යනවා සත්තයි......."

Saturday, April 9, 2011

"පිරුවට පෙරුමන්
දැක දැක
සිහින පොදි...,

නැගුවට සුසුම් වැල්
මුළු ගතම
අළු කරන්...,

හෙලුවට කඳුළු බිඳු
ගං දියම
පිරෙනකම්...,

නුඹ මගෙන්
දුර ගිහින්
දැනෙනවා  සත්තකින්......"

ආදරේ  ජීවිතේ
සරි කරන්
ආදරේ  කළා නුඹට මං...

නොතේරුණු ඔබට මං
තෝරන්න දුන්නු
පද වැල්
පැටළුවේ නුඹ හිත හිතා ....

නුඹේ පද ප්‍රෙහෙලිකාවේ
එකම වදනක් වත්
නොවන මට
අවසරයි  ගැලපෙන්න
මටම හිමි
ප්‍රෙහෙලිකාවක....!

ජීවිතය....



උපදින තෙක් 
නිහඬ,


උපන්නාට පසුත්
නිහඬ,


ශබ්දයකි ජීවිතය !
නිහඬ බව 
අතර ඇති......