Blogger Tricks

Monday, September 7, 2015

මිය යන ජීවිතයකට
හුස්ම පිඹින 
මිනිසුන්  නොව,
තවත් එය 
මිහිපිට අපායක් කරවන
උන් මිසෙක,
හමු වී නැත මට
ඔවුන් ඔය තරම් කියන
දෙවි දේවතාවුන්... 

Monday, February 16, 2015

වැස්ස නැත තව තුරල් වී..

කුණාටු වැසි
මොර දෙමින් හඩයි
මග තොට ද නොපෙනේ
දුවන මග
 කෙළවරක් නොපෙනේ
සීතල කබා අවැසි නැත
දැන් එයත් නොදැනේ
නැවතුම් කොතනද
මතක් වෙනකම්
ඉක්මන් පය
බාල කරවමි
වැස්ස නැත තව තුරල් වී ...


Wednesday, February 11, 2015

තනි අඹ ගසක්!

රැවුල් ගස් වලින්
ගැවසුන අඳුරු හදවත
හුස්ම ගන්නට
තිබු විය සිදුර
නුදුරේ
පෙනේ නොසැලෙන
අඹ ගසක්..

පාමුල වුවත්
විසිතුරු මල් ගසක්
නොපෙනේ කිසිදු පිළිසඳරක්..
හමු වෙන්න එන උන්
නොමැති තනිය හුරු
කරවන සිතක් ..

හදවතට මෙපිටේ
යකඩ දඩු වැටක්
ගෙනෙයි ගිනියම
දහවල රැයෙත්..

සිදුර ගෙනෙනා
කණමැදිරි එළියෙන්
හුස්ම ගන්නා ගොළු ඇසක්
තිබෙයි ආදරයකට
මැදි වී ...


Monday, July 14, 2014

පෙම් හසුන





මට ලව් ලෙටර් එකක් ලියලා දෙන්නකෝ...

මොකක් ? 

සිංහලෙන් කියන්නේ ඒකට පෙම් හසුනක් කියල. අනේ ලියල දෙන්නකෝ...

මං දන්නේ නෑ ඕවා ලියන්න.අනික මං කවදාවත් ලියලත් නෑ ඕවා.

මිනිස්සු හැමදේම දැනගෙනයැ කරන්නේ? මමත් මිට කලින් ලියල නෑ තමයි.ඔයා ලියල දුන්නට පස්සේ මං ලියල දෙන්නම් පිළිතුරු ලිපියක්.

නෑ ඕනි නැහැ.

ඒ කියන්නේ ලියල දෙනවද මට?

ඔයා දන්නවනේ මං ලියන වැඩ වලට කැමති නැහැ.ඔයා වගේ ලස්සනට වචන ලියන්න අනික මන් දන්නෙත් නෑ..

ඔයා කොමද දන්නේ මං ලස්සන වචන දන්නවා කියල.?

අර මට ලිව්වේ ලස්සන කවි

අහ ඒවයේ තියෙන්නේ ලස්සන වචන නෙමෙයි නිකන් ඉන්ද්‍රජාලික යතාර්ථවාදී වචන ටිකක් විතරයි. ටිපි ටිප් වගේ. අනික ඉතින් මං ඔයාගෙන් ලස්සන වචන බලාපොරොත්තු වෙන්නෑ..

පෙම් හසුනක් කියන්නේ ලස්සන වචන වලට නෙමෙඉද?

කොහෙත්ම නැහැ.

එහෙනම්?

ලව් ලෙටර් එකක් කියන්නේ ඔයා මට කොච්චරක් ආදරෙයිද කියල ඇත්තටම ඔයාට දැනෙන විදිය ඔයාගේ වචන වලින් කියන මෙවලමකට.. ඒකට ඕනි ලස්සන වචන නෙමෙයි.
ඔයාගේ හැගීම විතරයි. ඔයා ඔය ලස්සනයි කියන්නේ මොන වගේ වචන වලට ද ඇත්තට? අනික ඔය ලස්සනයි කියන  වචන වලට ලේසියෙන් බොරු කරතහැකි.

ඒ උනාට මං දන්නේ නැහැ. ඒකටත් හැකියාවක් තියෙන්න ඕනි.

ලියුමක් ලියන්න හැකියාවක් තියෙන්න ඕනි කියලා  අදමයි ඇහුවේ. හැකියාව නෙමෙයි ඔයාට ඕනි කමක් නෑ ඒකයි. ඕනි කමක් තියෙනව නම් බැරි කමකුත් නෑ.. නැත්නම් මිනිස්සු ගාවද වචන නැත්තේ? අනික පිරිමි ගාව හොද හොද වචන තියෙනව ඔය සම්බන්දව ගෑනුන්ට වඩා.

එහෙනම් ඔයා තෝරාගෙන තියෙන්නේ වැරදි කෙනාව.

ලව් ලෙටර් එකක් ලියන්න බෑ කිව්ව එකෙන් මං වැරදි කෙනාව තෝරන් තියෙනව කියල හිතන්න අමරුයි මට .

ඔයාට තිබ්බේ ඔයා වගේ කවි ලියන කෙනෙක්ව තෝර ගන්න.

මට එහෙම කෙනෙක් ඕනි නෑ. මං මොකටද තවත් මං වගේම කෙනෙක් තෝර ගන්නේ?එතකොට ජිවිතේ නිකම්ම සරල රේඛාවක් විතරක් වෙනවා. කිසිම විචලනයක් නැහැ.එහෙම ජිවත් වෙන්න පුලුවන්ද?ඒ සරල රේඛාවේ ආදරේ මට පදවගෙන යන්න ඕනි ඒකාකාර ප්‍රවේගයකින් නෙමෙයි. මට ඕනි වෙනස් කෙනෙක් ඔයා වගේ.

හරි එහෙනම් මොකද මේ වෙනස් කෙනාගෙන් කරන්න බැරි දෙයක් ඉල්ලන්නේ?

ඒක කරන්න බැරි දෙයක් නොවන නිසා.මං ඔයාගෙන් ඉරවත් හදවත් ඉල්ලුවේ නෑනේ.මං ඉල්ලන්නේ කොලේක ලියපු වචන ටිකක්. හරි සරලයි !
මම මහ ඇණයක් නේද?

නෑ එහෙම නෑ.

නැත්තේ  මොකෝ මුනේ හැටියෙන් පේනව.

මං ඔයාට ආදරෙයි!

කොච්චරක්ද?

ම්ම්ම්..අහස තරම්?

අහස පොඩි වගේ නැද්ද?

එහෙනම් විශ්වය තරම්?

ම්ම්ම්..ඒක ටිකක් හොදයි..

……………………...........................................

මගේ ආදරය වෙත,

කලින් කිව්වා වගේම ලස්සන වචන මං ලග නැහැ.ඒත් හිත පිරෙන්න ඔයා ගැන ආදරේ මං ලග ඕනි තරම් තියෙනව.ඔයා වෙනුවෙන් මගේ හිතේ තියෙන ආදරේ ගහට කොළට මුහුදට සමාන කරන්න මං දන්නෙත් නැහැ.දවසක් කිව්වා වගේ එහෙම කරන්න ගියොත් මෙලෝ වැඩකට නැති ලෝකේ තියෙන ජරාම උපමාව මං ඔයා වෙනුවෙන් මගේ ආදරේ වෙනුවෙන්  ලියාවී.

I LOVE YOU AND I MEAN IT ♥♥♥♥♥

මිට
මම..
...................................................................................

මට එය දැනුනි ,මට එය හැගුණි,ආදරයෙන් හදවතට මගේ පෙම් හසුන සර සර හඩ මැද  තරයේ තුරුළු කර ගත්තෙමි. සැනසුම් සුසුම් මැද පියවුණු දෙනෙත්  හරින විට දෑස අග මෝදු වූ කදුල පිටි අල්ලට එක් කොට ගත්තෙමි.

Monday, April 7, 2014

නුඹ නිසා පිපෙන මම




මලක් සේ මම පෙති විදාලමි..
නුඹේ සෙනෙහේ සෙමෙන් සැතපෙමි..
උදා හිරු දැක සිනාසෙන්නෙමි..
දෙඅත් විහිදා තුරුළු කර ගමි...

කවක පද වැල් සිතින් පබදිමි..
ලස්සනම පද එයට අමුනමි..
පන්හිඳට මගෙ නැවතුමක් නැති.. 
නුඹ නිසා මං කවි ලියන්නෙමි..

සංසාරයේ දුර ඇවිද ඇත්තෙමි..
පුරුදු සුවයක් නුඹෙන් ලබනෙමි..
වසා දෙනුවන් නුඹ ලගට කරගමි..
සිහිනයෙන් මං ඉසිඹුලන්නෙමි..

හදවතේ ස්වර සෙමෙන් ගලපමි..
සැලෙන නෙතු මං මගේ කර ගමි..
සෙනෙහසේ රන් ඔටුනු පළදිමි..

නුඹේ හය්යට මගේ අත දෙමි..

Sunday, March 23, 2014

අකීකරු සිත




මේ සිතත් මගේ
සැඩ සුළඟ වගේ
තැනෙක නොරැඳී
අවිචාර ගමන් යයි..

මා හැර ගොස් යළි
මා වෙතටම එන
පෙර වාගෙම මේ
දැනුත් සිනාසෙන..

පාට පාටින්
ලොවක් පෙන්වන
හඩන්නට ඉඩ
කිසිත් නොතබන
අකීකරු සිතක් ඇත්නම්
ඒ මගේ සිතයි.. 

Sunday, March 9, 2014

පියෙකුගේ විලිරුදාව..


නිමිත්ත - සුතිකාගාරයේ දොර අසල නොඉවසිල්ලෙන් රැඳී සිටින තරුණයෙක්....



නුඹ නගන වේදනා
පරයමින් ඇසෙනවා
මගේ හදේ හද ගැස්ම
මොර ගසයි නොපෙනෙනා...

අප ලෙයින් උපදිනා
සෙනෙහසේ කුමරුවා
අද එතැයි හෙට එතැයි
අපි ඇඟිලි ගැන්නුවා..

මේ දොරෙන් පිටත හිඳ
ඉවසුමක් නැතුව ළඟ
පතිනියනි නුඹේ සුවත්
දියණියනි නුඹේ සැපත්
සියලු දේ පුද දෙමින්
දෙවියන්ට අයදිමි...

මේ විසල් විශ්වයේ
කිසිකෙනෙක් නොවිඳිනා
මව් කෙනෙක් විඳවනා
වේදනා සයුර අස
කුහුඹුවෙකි

පියවරුන් මේ දවස...