Blogger Tricks

Thursday, December 26, 2013

අවසන කිසිත් ඉතිරි නොවීය..




සියපතක පෙති
එකින් එක විද ලු,
සිහිනයක පැටලි රූ
දසුන් මත සිඳ ලූ,
අදුර රැඳී උඩු වියන්
මනස් දොළ පිර වූ,
තුගු සිරින් මන් මත්ව
හද තුටින් කැළඹු,
විඩාපත් නෙත් යුග
සෙමි සෙමින් පිය වූ,
තොල් අගට මීවිතෙන්
බිඳෙන් බිඳ පැමිණු,
නුඹ සමග සෙනෙහසින්
හදින් හද තැවරූ,
දහවලින් රැයක් ගෙන
දහවලම සැනසූ,
මායිමක් නොදැන සිට
මායිමේ දුර සෙවූ,
මා නුඹේ 
නුඹ මගේ
නොවුණු දින ඇරඹු.....

Tuesday, December 10, 2013

මිතුරු කමට ඇරයුම් ගෙනෙන පොලඟුන්



නැවතුමක් ගැන
සිතා ගන්නට
තොටුපලක් නැති
විල් තෙරේ,
හබලකට වාරු ගෙන
ඔරුව පැද යමි
හිතු මතේ....

වැව් දියට නැමී
අරලියා මල්
හිනැහෙමින් අත වනා,
මිතුරු කමකට
ඇරයුම් ගෙනෙයි
මග දිගට ඇස් ගස ගසා....

අතු අගිස්සේ
රවන පොලඟුන්
දෙස බලා,
දිගු කරන අත
ගුලි කරන්නෙමි
සිතට බිය වැඩි නිසා.....

Saturday, August 17, 2013

ලැම පෙන්වා මුදල් කරන්නිය!

විලිකුන් සුරත් ඵල  ලෙස
හිරු අවරට යන්නා,
     සුවඳ පැනින් ඇඟ උණුසුම
     කර ගන්නා,
දැක්ක විටම පිරිමින්ගේ
රති ආශා වැඩි වෙන්නා,
     සැන්දෑ අහස මෙන් සැරසී
     ඇය මහ මග වෙත යන්නා,


දෙනුවන් අයා මඟ
බලමින් ඉන්නා,
    මුහුණේ පැහැය අනුරාගෙන්
    බබලන්නා,
යන එන මස් පර්වත
ගනු දෙනු විමසන්නා,
    කුණු කොල්ලෙට ඇඟ මස්
    මිල නොකරන්නා,


පවලට වින කළා මවගේ
නොමනා හැසිරීම,
    රාග මතින් සැමියා මැරුවා
    සොර සැමියා හින්දා,
තම සුව පතා ඒ අම්මා
තම දරුවා මිල කෙරුවා,
     රතු මුනෙකුට පොඩි කාලෙම
     බිලි දුන්නා,


සැමියෙකු නොමැති මුත්
     හැම රැයකම
මිලියනපතියන් හමුවෙනවා,

මංගල මුදුව නොදැමූවත්
      හැම දිනකම
මංගල රැය ගත කරනා,

ආලය නොකෙරුවත්
     ආදර බස්
නොඅඩුව ලැබෙනා,

ජීවිතය මේ වගෙයි
     කොයි කාටත්
එක සේ නොසලකනා....

Thursday, July 25, 2013

දම් පාට මල



පිපෙනු නොහැකිව
වසත් කල ළඟ
සීත පිනි බිඳු
තුරුළු කරගෙන
පුංචි මල තව
මග බලා ඉන්නා...


චණ්ඩ රශ්මිය
දවා හළු කර
බියෙන් ඇළලී
ඒ පුංචි මල
තව බලා ඉන්නා...

තවම සුසිනිදු
දම් පැහැති පෙති
තනිව පිපෙනට
දිරිය නොමැතිව
මග බලා ඉන්නා...

මලට පෙම් බැදි
කුමර බඹරා
තාම ඉඳහිට
ලඟට ඇවිදින්
තවම නොපිපුණු
දම් පාට මල ළඟ
මග බලා ඉන්නා...

Thursday, January 24, 2013

සුබ පැතුමකටවත් ඉඩ නොතියා.. නුඹ මිතුදම් අත හැරියා..


වන්දනීයයි මිතු දමින් බැඳි
දෙවොල අබියස පහන් සිල්.,
විශ්වයේ මා තනි නොවන වග
ශපත කෙරුවා මා මතින්..

කඳුල සිනහව සැමට කලියෙන්
නුඹ ඇවිත් මගේ ලඟට සෙනෙහෙන්
අපි අපේ ළඟ හිටිය මතකද
වසර ගණනක දිගු අතීතෙක..

නුඹට මා කවුරුන්ද වග නම්
අමතකද සොයුරිය ඉතින් අද,
ජිවිතේ ළඟ පෙම් කතන්දර
ලියා බෝ කල් ගෙවී තිබුනත්
මං නුඹේ කවුරුත්ම නොවන බව
මතක් කෙරුවා හරි හෙමින්...


පෙම්වත් සිත ළඟ
අමතක මිතු දම්
දෙනෙතින් ගැලුවා
නුඹ නොදනියි..
හදවත ගැහෙනා
රිද්මය අතරේ
මං නුඹ හෙව්වා
මිතුදම් හෙව්වා
වැලදගන්නට
පෙර ලෙසින්...